ඉතිහාසය

photo 1

1775 දී අසරණ සරණ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් ශාසන උද්දීපනයේ දී ඌව වෙල්ලස්‌ස නියෝජනය කරමින්   කොකුන්නෑවේ සංඝ කීර්ති මහා ස්වාමීන් වහන්සේගෙන් ආරම්භ වූ සඝ පරපුරකි. ඌව වෙල්ලස්සේ සියම්නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝ පරම්පරා දෙකක් ඇත. ඒ කොටසර සඝ පරපුර සහ පොතුබන්දන සඝ පරපුරයි .සොරබොර ශ්‍රී අශෝකාරාමය අයත් වන්නේ  මෙයින් පොතුබන්දන  සංඝ පරම්පරාවටයි. කොකුන්නෑවේ  සංඝකීර්ති හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයහිමිවරයෙකු වන ධම්මපාල ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය ලුණුගල සුනන්ද ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු වන ලුණුගල  ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍යයකු වන ආනන්ද මහා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයෙකු වන වේරගොඩ ආනන්ද හිමිපාණන් වහන්සේ දක්වා මෙම සඟ පරපුරට අයත්වේ.  වේරගොඩක් ආනන්ද හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයවරයන් වහන්සේලා විසින් මෙම සඝ පරපුර පවත්වාගෙන යනු ලබයි.

photo 2

1950 දශකයේ ජනපද ව්‍යාප්තියත් සමඟ සොරබොර ජනපදය ආරම්භ වූ බවට මූලාශ්‍රයන්හි සඳහන්වේ. මෙම ගම්මානයේ ජනපදවාසීන්ට විහාරස්ථානයක අවශ්‍යතාවය පැන නැඟුණි. එවිට වැඩිහිටි සැදැහැවතුන් කීපදෙනෙකුගේ මූලිකත්වයෙන් එවකට බිබිල කොටගම විහාරස්ථානයේ විහාරාධිපති වූ කොටගම ගුණානන්ද මහා ස්වාමින් වහන්සේට ආරාධනයක් සිදු කරන ලදී. මෙම සොරබොර ගම්මානයේ විහාරස්ථානයක් ඉදිකරන මෙන් සිදුකරනු ලැබූ ආරාධනය පිළිගත් ගුණානන්ද හිමියන් මෙම කාරණය ලුණුගල පුරාණ රජමහා විහාරාධිපති වෙල්ලස්ස, බින්තැන්න, නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝ නායක ධුරයේ වූ කීර්ති ශ්‍රී මුදියෙල ගුණානන්ද මහා ස්වාමීන් වහන්සේට දන්නා සිටි අතර එයට පිළියමක් වශයෙන් උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍යවරයෙකු වන අඹගොල්ලේ දේවරක්ඛිත මහා ස්වාමීන් වහන්සේට දැනුම් දුන් අතර උන්වහන්සේ මෙම සොරබොර ගම්මානයට වැඩම කිරීමට එකඟතාවය පළ කරන ලදී.  ඉන්පසු ගම්වාසින් උන්වහන්සේ මෙම සොරබොර ජනපදයේ නිවසකට වැඩමවා ගෙනැවිත් වස්වසා විහාරස්ථානයක් ආරම්භ කරන ලදී.වර්ෂ කීපයක් එම නිවසේ වැඩ වාසය කරමින් සිට දැනට සොරබොර ශ්‍රී අශෝකාරාමය පිහිටි ස්ථානය තෝරාගෙන විහාරස්ථානය ආරම්භ කරන ලදී. ඒ 1950 දශකයේ මුල් භාගයේ දී ය. සොරබොර ශ්‍රී අශෝකාරාමය යන නමින් උන්වහන්සේ කුඩා, පොල් අතු සෙවිලි කරන ලද ආවාසයක විහාරස්ථානය ආරම්භ කළ බවට පැරැණි ගැමියන් පවසති. 

photo 3

1950 දශකයේ සිට 1982 දක්වා අඹගොල්ලේ දේවරක්ඛිත මහා ස්වාමීන් වහන්සේ හැකි පමණින් විහාරස්ථානය මුල්කරගෙන ආගමික ශාසනික සාමාජීය සහ අධ්‍යාපනික සේවාවන් රැසක් සිදු කර ඇත.   1982 වර්ෂයේ ජනවාරි මස 22වන දෙන උන්වහන්සේගේ අපවත් වීමෙන් මෙම විහාරස්ථානයේ විහාරාධිපතිත්වය වෙල්ලස්ස, බින්තැන්න ,නැගෙනහිර කෙපලාවතේ ප්‍රධාන  සංඝනායක මුදියෙල ගුණානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උන්වහන්සේගේ ශිෂ්‍යවරයෙකු වන වේරගොඩ ආනන්ද ස්වාමීන් වහන්සේ පත්විය. 1982 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා මෙම අශෝකාරාම විහාරස්ථානයේ  සියලු විහාරාංගයන්ගෙන් සමන්විත විහාරස්ථානයක් බවට පත්කිරීම සඳහා  කටයුතු කරන ලදී. 2023 වර්ෂයේ ජූලි පළමුවන දින බෙරගොඩ ආනන්ද මාහිමියන් වහන්සේ අපවත්විය.  ඉන් අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍යය හොබරියාවේ විමලානන්ද හිමියන් විහාරාධිපතිත්වයට පත්විය.